ගංවතුර සහ නාය යෑම්: මරණ සංඛ්‍යාව ඉහළට; ධීවර යාත්‍රා රැසක් මුහුදේ අතරමං

0
107


Image copyright
Getty Images

Image caption

සංරක්ෂිත ඡායාරූපයක්

ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින අයහපත් කාලගුණය සහ ඊට සම්බන්ධ අනතුරුවලින් පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඊට අමතරව ගසක් කඩා වැටීමෙන් තවත් තිදෙනෙකු මරණයට පවත් ඇතැයි වාර්තා වේ.

ගංවතුර, නාය යෑම් ඇතුළු අයහපත් කාලගුණය හමුවේ පවුල් 1187 කට අයත් 4738 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.

මේ අතර රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල නාය යෑමේ අවදානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවා ඇත.

රත්නපුර, ඉඹුල්පේ, කොත්මලේ දැනට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ වෙති.

නාය යාමේ අවදානම හමුවේ සිය නිවාසවලින් ඉවත්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරක්ෂිත ස්ථානවල තවදුරටත් රැඳී සිටින ලෙස මහජනතාවට දැනුම් දෙයි.

මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තවදුරටත් වැසි සහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ අතර පවසයි.

ලක්ෂපාන, කැනියොන්, නෝර්ටන් සහ ඉහළ කොත්මලේ ජලාශයන්හි වාන් දොරටු විවෘත කර ඇති අතර, එම ජලාශ ආශ්‍රිත පහළ වාරි කලාපවල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

බහුදින යාත්‍රා මුහුදේ අතරමංව

Image copyright
Getty Images

Image caption

බහුදින ධීවර යාත්‍රා හතලිස් හතරකට ආසන්න සංඛ්‍යාවක් මුහුදේ අතරමංව

ශ්‍රී ලාංකික ධීවරයන් තුන්සියයකට ආසන්න පිරිසක් සහිත බහුදින ධීවර යාත්‍රා හතලිස් හතරකට ආසන්න සංඛ්‍යාවක් මේදිනවල පවතින කුණාටුවට හසු වී ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් ප්‍රනාන්දු පවසයි.

එම ධීවර යාත්‍රා, මීගමුව, දික්ඕවිට ඇතුළු ධීවර වරායවලින් මුහුදු යන විට දැනට පවතින කුනාටු සහගත තත්ත්වය නොවූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

බ්‍රහස්පතින්දා (ජූලි 18) පස්වරුවේ මුහුදේ සුළං තත්ත්වය දරුණු අතට හැරීමත් සමග එම යාත්‍රා ඉන්දියාවට අයත් දූපතක් කරා ගෙන යාමට උත්සහා කර ඇතත් එය අසාර්ථක වී ඇත .

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය උද්ගත වී ඇති එම තත්ත්වය පිළිබඳව ධීවර දෙපාර්තුමේන්තුව සහ පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කර ඇති අතර,පවතින තත්ත්වය තවත් දරුණු වුනොත් එම ධීවර යාත්‍රා මාල දිවයිනට හෝ ඉන්දියාවට සේන්දු කිරීමට අවශ්‍ය අවසර එම රටවලින් ලබා දෙන ලෙස ඉලීමක් ද කරයි.

කාලගුණ අනාවැකිවල තත්ත්වය

මෙවැනි සුළං තත්ත්වයන් පිළිබඳ කල්තියා දැනගත හැක්කේ මාසික කාලගුණ වාර්තාවක් ලබා දෙන්නේ නම් පමණක් යයි පවසන සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් ප්‍රනාන්දු එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් පෙන්වා දෙයි.

“අද රාත්‍රියේත් සුළං තත්ත්වය වැඩි වෙයි කියලා හිතනවා. මගේ දැනුම අනුවයි කියන්නේ. ලෝකය තක්ෂණය අතින් කෙතරම් දියුණු වුවත් අපේ රටේ කාලගුණය කියන්න ගැන නිශ්චිතව කියන්න තාම බැරිවෙලා තිබෙනවා. කඩින් කඩ වැසි ඇති වෙයි කිව්වොත් එදාට වැහි නැහැ. ඒ වගේ අනාවැකි තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා අපේ රටේ කාලගුණ අනාවැකි පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් නැහැ. අපි කටයුතු කරන්නේ තවමත් පාරම්පරික දැනුම මතයි” ධීවර නායකයා පවසන්නේ චෝදනා ස්වරූපයෙනි.

පුෂ්ප රැජින සහ ඉයන් පුතා

Image caption

‘පුෂ්පරැජින -10’ බහුදින යාත්‍රාවේ හිමිකරු වන රංග ප්‍රනාන්දු

දැඩි සුළඟ හේතුවෙන් බහුදින ධීවර යාත්‍රාවකට සුළු අනතුරක් සිදුව ඇති බව මාරවිල කොස්වාඩිය ගුවන්විදුලි පණිවුඩ මධ්‍යස්ථානය වාර්තා කරයි.

එහෙත් එම අනතුරින් තම යාත්‍රාවේ ගමන් කල කිසිවෙකුට හානි සිදුව නොමැති බව එම බහුදින යාත්‍රාවේ හිමිකරු වන රංග ප්‍රනාන්දු පවසයි.

“මම මෙතනට ආවේ ‘පුෂ්පරැජින -10’ මගේ යාත්‍රාවට කතා කරන්න .නමුත් යාත්‍රාවට කෙලින්ම කතා කිරීමේ හැකියාවක් ලැබුනේ නැහැ . තවත් යාත්‍රාවකින් දැනගන්න ලැබුනා මගේ යාත්‍රාවට මාරියාවක් දාලා කටුවැල් සියල්ල නැවත ගැනීමට නොහැකි පරිදි විනාශ වෙලා කියලා. පසුව ඔවුන් දැනුම් දුන්නා – නැවත ගොඩබිම බලා යාත්‍රා කරනවා කියාලා . ඔවුන් අද (ජූලි 19) දහවල් එකට සිටියේ ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 125 ක් දුරකින් . මගේ ‘පුෂ්පරැජින -10’ යාත්‍රාව දික්ඕවිට වරායෙන් පිටත් වුනේ මිට දින හතරකට පෙර.යාත්‍රාවේ හත්දෙනෙක් හිටියා” රංග ප්‍රනාන්දු සඳහන් කළේය.

මුහුදේ අතරමංව සිටින තම ඥාතීන් ඉක්මනින් ගෙන්වා ගැනීම සදහා වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ජාත්‍යන්තර මුහුදේ දුෂ්කර අඩියක ඇති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවල සිටින ධීවරයන්ගේ පවුල්වල ඥාතීන් රජයෙන් ඉල්ලා සිටිති.

මේ වන විට ජාත්‍යන්තර මුහුදේ ඇති ‘ඉයන් පුතා’ බහුදින යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කරන චමින්ද ප්‍රභාත්ගේ බිරිඳ ඉනෝකා මේරියන් අදහස් දක්වමින් ඇයට ‘දැන් ඉතිරිව ඇත්තේ දෙවියන්ට කන්නලව් කිරීම පමණක්’ යයි කියා සිටියාය.

“‘ඉයන් පුතා’ යාත්‍රාව මුහුදු ගියේ පහුගිය මාසේ 27 වෙනිදා. ඒ යද්දී කුණාටුවක් ගැන දැනගෙන සිටියේ නැහැ.තාත්තා එක්ක පුතත් වෙනදට මුහුදු ගියත් පුතා මෙවර ගියේ නැහැ.අපට දැන් ඉතිරි වෙලා තියෙන්නේ යාඥා කරන්න විතරයි.ඊයේ ඉඳන් අපි කරන්නෙත් ඒක තමයි. අපේ ගේ තියෙන්නේ මුහුද අයිනේ. ඒ නිසා අපට හිතා ගන්න පුළුවන් කොපමණ දරුණු හුලඟක් මුහුදේ තියනවද කියලා” ඉනෝකා මේරියන් පවසන්නීය.

Image caption

ඉනෝකා මේරියන්

ආණ්ඩුවේ ප්‍රතිචාරය

බ්‍රහස්පතින්දා (ජුලි 18) ඇති වූ කුණාටුවට ශ්‍රී ලාංකික බහුධින ධීවර යාත්‍රා 44 ක් හසුව ඇති බව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී ධීවර දෙපාර්තුමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂිකා කල්‍යාණි හේවාපතිරණ ප්‍රකාශ කළාය.

එහෙත් එම යාත්‍රාවලට කිසිදු අනතුරක් සිදු වී නොමැති බව ප්‍රකාශ කළ සෝදිසි මෙහෙයුම් අධ්‍යක්ෂිකා කල්‍යාණි හේවාපතිරණ, එකී යාත්‍රාවලින් තිහක් (30) මාල දිවයින් දූපත් අසන්නයේත්, තවත් දාහතරක් (14) ඉන්දියාව ආසන්නයේත් ඇති බව සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ, ආසන්නතම වරායට ළඟා කරන ලෙස ධීවර දෙපාර්තුමේන්තුව එම සියලු යාත්‍රාවන්ට උපදෙස් දී ඇති බවය.

ධීවරයන් විසින් කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් නගන ලද චෝදනා පිළිබඳව විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් ධීවර දෙපාර්තුමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිළිබද අධ්‍යක්ෂිකා කල්‍යාණි හේවාපතිරණ තමන් ධීවරයන් සඳහා දිනකට තුන්වරක් කාලගුණ අනාවැකි නිකුත් කරන බව කියා සිටියාය.

“මාසයකට කලින් කාලගුණ අනාවැකි පුරෝකථනය කරන්න අමාරුයි. ඊට හේතුව කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීම අතින් ශ්‍රී ලංකාවේ තාක්ෂණය දියුණු මට්ටමක නොතිබීම” ධීවර දෙපාර්තුමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිළිබද අධ්‍යක්ෂිකාවැ සඳහන් කළාය.

එක් බහුදින ධීවර යාත්‍රාවක ධීවරයන් හයදෙනෙකු පමණ සාමාන්‍යයෙන් ගමන් කරති. එම යාත්‍රා මාසයකට වැඩි කාලයක් හෝ ඊට ආසන්න කාලයක් මුහුදේ ‘පන්න කිරීමේ’ නිරත වන අතර එවැනි කාලයකට සෑහෙන ආහාර ,බෙහෙත් සහ වෙනත් කළමනා ඔවුහු ගෙන යති.

අනතුරට පත් නැවෙන් “තෙල් කාන්දු වීමේ අවදානමක්”

Image caption

අනතුරට පත් නෞකාව

අයහපත් කාලගුණය හමුවේ ගාල්ල පිටත වරායේ නවතා තිබු නැවක් ගසාගෙන ගොස් උණවටුන රූමස්සල ගල් පරයක හැපිමෙන් අනතුරට පත්ව තිබේ.

නාවික හමුදාව විසින් එහි සිටි නාවිකයින් නම දෙනා බේරා ගනු ලැබ ඇති අතර තුවාල ලබා සිටි කපිතාන්වරයා කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත.

රූමස්සල කදුවැටියේ ගල්පර්වතයක වැදී සිරවී ඇති මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තෙල් ටොන් 10ක් 15ක් ඇතැයි වාර්තා වේ.

මුහුදු රළු නිසා නෞකාවේ ඉන්ධන මුහුදු ජලයට කාන්දුවිමේ අවදානමක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

කියවන්න;

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here