කෝලි-බුවනේෂ්වර් ඉන්දියාව දිනවති | දිනමිණ

0
70


නායක විරාත් කෝලිගේ සුපිරි පිතිහරඹයත්, බුවනේෂ්වර් කුමාර්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් පෝර්ට් ඔෆ් ස්පේන් හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 59ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

මේ සමගින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාවට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 279ක් රැස්කළ අතර පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 46කදී ලකුණු 270ක ඉලක්කයක් කොදෙව්වන්ට හිමිවිය. එය හඹාගිය කොදෙව් පිල ඕවර 42කදී ලකුණු 210කට දැවී ගියේය.

එවින් ලෙවිස් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් පන්දු 80කින් ලකුණු 65ක් රැස් කරමින් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 31කට කඩුලු 4ක් දවාගත් අතර මොහොමඩ් ෂාමි සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ විරාත් කෝලි පන්දු 125කින් ලකුණු 120ක් රැස් කළේය. හතරේ පහර 14කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත් ඔහු රැස්කළේ සිය එක්දින තරග දිවියේ 43වැනි ශතකයයි. කෝලි සමගින් එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 125ක සබඳතාවක් ගොඩනැගීමට ශ්‍රෙයාස් අයියර් සමත් විය.

අයියර් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් පන්දු 68කින් ලකුණු 71ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී කාලෝස් බ්‍රැත්වේට් කඩුලු 3ක් බිඳ දැමීමය.

දෙරට අතර අවසන් එක්දින තරගය හෙට (14) පැවැත්වේ.

ඉන්දියාව – 279/7 (ඕවර 50) විරාත් කෝලි 120, ශ්‍රෙයාස් අයියර් 71 (කාලෝස් බ්‍රැත්වේට් 53/3)

කොදෙව් – 210 (ඕවර 42) එවින් ලෙවිස් 65, නිකලස් පූරන් 42 (බුවනේෂ්වර් කුමාර් 31/4, මොහොමඩ් ෂාමි 39/2, කුල්දීප් යාදව් 59/2)

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here