කුඹුක් ඇතුළු පැරණි ගස් සිය ගණනක් කපා ඉවත් කිරීමේ සැලසුමකට ගම්වාසීන්ගේ විරෝධය

0
155


Image caption

සලකුණු කළ ගසක්

ලෝක පරිසර දිනය යෙදී ඇති බදාදා (ජුනි 05) ගස් සිය ගණනක් පමණ කපා බිම දැමීමේ උත්සහයක් පිළිබඳ හලාවතින් වාර්තා වේ.

හලාවත කරවිට ගම්මානයේ පිහිටි ජලාශය සංවර්ධනය කිරීමට යැයි පවසමින් ඒ අවට පිහිටි ඉපැරණි රුක් ගොමුවක් කපා ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සැලසුම් සකස් කර ඇති බවට ගම්වාසීහු චෝදනා කරති.

ගස් සමූහය ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය නම් නීතිය හමුවට යාමට වුවත් පසුබට නොවන බව කරවිට ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට රැස්වූ ගම්වාසීන්,ආගමික නායකයන් සහ නීතිඥ කණ්ඩායමක් සපථ කළහ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් අධ්‍යක්ෂක ආර් එම් පී කරුණාරත්න කියා සිටියේ ගස් ඉවත් කිරීම පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයකට එළඹ නොමැති බවය.

කරවිට ජලාශයට අක්කර 999 ක භූමි භාගයක් අයත් වුවත් මේ වන විට අක්කර 200 ට ආසන්න ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබ ඇති අතර වසර තිහකට ආසන්න කාලයක් තුළ ජලාශයේ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු කර නොමැත.

කරවිට, ඉලිප්පදෙණිය, කොහොබේ, මුන්ගන්දලුව, සවරාන ඇතුළු ගම්මාන රැසක ගොවි ජනතාව මෙන්ම ධීවර ජනතාවද ජලාශයෙන් ප්‍රතිලාභ ලබති.

  • විල්පත්තුව: තීන්දුව දීම විනිසුරු ප්‍රතික්‍ෂේප කරයි

කුඹුක් සහ කොහොඹ

Image caption

ජලාශය ආසන්නයේ පිහිටි කුඹුක් ගසක්

Image caption

කරවිට ජලාශය

ඉහත කී හමුවේදී අදහස් පළ කළ කරවිට ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානාධිපති දෙවොල පොළ සංඝානන්ද හිමි කියා සිටියේ කපා දැමීමට නියමිත ගස් අතර කුඹුක්, කොහොඹ, මිදැල්ල සහ තෙලබු ගස් ද තිබෙන බවය.

“කුඹුක් කියන්නේ වැව් බැම්ම ආරක්ෂා කරන ප්‍රධාන සාධකය. ඊට අමතරව කුඹුක් ගසේ මුල් පද්ධතියෙන් වතුරේ කිවුල් ගතිය නැති කරනවා . කොහොඹ කියන්නේ විශාල සිසිලසක් දෙන ගසක්. මේ අය මේ වන විට කපා දමන්න ගස් 456 ක් ලකුණු කරලා තිබෙනවා,” යනුවෙන් උන්වහන්සේ කියා සිටියහ.

ඒ පිළිබඳ ප්‍රදේශයේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් බව කී උන්වහන්සේ “නමුත් ඔවුන් කියන්නේ ‘දන්නේ නැහැ. කිව්වේ නැහැ’ කියලයි. දැන් කාටවත් මේ ගැන දන්නේ නැහැ කියන්න බැහැ. පහළ ඉඳන් ඉහළටම මේ ගැන දැන් දැනුම් දීලා තිබෙනවා.”

පරිසර අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පවතින අතර ගස් කපා දැමීමට පවතින සූදානම සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇතැයි දෙවොල පොළ සංඝානන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

“අපි කියන්නේ නැහැ වැව සංවර්ධනය කරන එක නවත්වන්න කියලා. මේක ලෝක ප්‍රමිතියට කරනවා කියනවා. ලෝක ප්‍රමිතිය කියන්නේ ගස් කපන එකද දන්නේ නැහැ.”

“ජාවාරමක පෙරනිමිති”

Image copyright
Getty Images

Image caption

සලකුණු කළ ගසක්

Image caption

ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානාධිපති දෙවොල පොළ සංඝානන්ද හිමි

කරවිට ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානාධිපති දෙවොල පොළ සංඝානන් ද හිමියන්ට අමතරව තවත් ආගමික නායකයන් කිහිප දෙනෙකු ගස් කැපීමේ සැලසුමට විරෝධය පළ කර තිබේ.

මීට අමතරව වයඹ පළාතේ ක්‍රියාත්මක තවත් පරිසර සංවිධාන කිහිපයක් ද ඊට විරෝධය පළ කර ඇති අතර තුරුමිතුරු පරිසර සංවිධානය ප්‍රකාශ කළේ ජලාශය සංවර්ධනය කිරීමට සිය සංවිධානය විරුද්ධ නොවන නමුත් ජලාශයේ දෙපස රක්ෂිතයේ පිහිටා ඇති ගස් කැපීම අනුමත කළ නොහැකි බවය.

එම සංවිධානයේ ලේකම් නුවන් සම්පත් කියා සිටියේ වසර අටසීයකට පමණ පෙර ජලාශය ඉදිකර ඇති බවය.

එතැන් පටන් මේ දක්වා මේ ජලාශය අවට රුක් ගොමුව තිබී ඇති බවට සාක්ෂි ඇතැයි සඳහන් කළ ඔහු “අද මේ රැස්වීමට එන්න කියලා නිලධාරීන්ට ආරාධනා කළා. ඒ වගේම ගොවි සමිතියේ නිලධාරීන්ට ආරාධනා කළා. නමුත් කවුරුත් ආවේ නැහැ. මේ ජලාශය වගේම මේ ගස් ටිකත් අපි රැක ගත යුතුයි.” යනුවෙන් පැවසීය.

“අපි කිසි විටක කියන්නේ නැහැ අත්‍යවශ්‍ය ගස් ඉවත් කරන්න එපා කියලා. නමුත් දැන් මේ වෙන්න යන්නේ වෙන ජාවාරමක්. එක පාටකින් ගහලා තියනවා ගස් එක්දහස් ගානක් කියලා. තව පාටකින් ගහලා තියනවා ගස් හාරසිය ගණනක් කියලා. අපිට හිතා ගන්න බැහැ මේ මොකද්ද වෙන්නේ කියලා .මේ ගස් ටික කපලා දැම්මොත් ජලාශය ඉතා ඉක්මනින් විනාශ වේවි.”

මේ අතර සමාජ ක්‍රියාකාරිනියක් වන ඒ ජේ ජයවර්ධන ප්‍රකාශ කළේ ජලාශයට අයත් භුමි ප්‍රදේශයෙන් විශාල කොටසක් මේ වන විට විවිධ පුද්ගලයන් විසින් අල්ලා ගනු ලැබ ඇති බවය.

“අපි සතුව තිබෙනවා මේ ප්‍රදේශයේ වැව් වල තිබුණු ගස් කපලා විනාශ කරලා තිබෙන ඡායාරූප. උදාහරණයකට කිව්වොත් තඹගල්ල වැවේ මේ ජාවාරම කළා. දැන් ඒක කාන්තාරයක්. ඒ වගේම මයියාව වැව හදනවා කියල ජාවාරමක් කළා දැන් එකේ පිට වානත් කැඩිලා,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

බලධාරීන්ගේ ප්‍රතිචාරය

Image caption

“වැව සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය නොමැතිනම් අපිට ඒ ගැන සලකා බැලිය හැකියි”

වාරි මාර්ග දෙපාර්තුමේන්තුව ලෝක බැංකු ආධාර යටතේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කරවිට ගම්මානයේ පිහිටි ජලාශය සංවර්ධනය කිරීමට නියමිත අතර ඒ හේතුවෙන් ඉවත් කිරීමට සිදුවේ යැයි සැලකෙන ගස් 456 ක් හඳුනාගෙන සලකුණු තැබූ බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

ගස් කපා ඉවත් නොකරන්නේ නම් ජලාශය සංවර්ධනය කිරීමට හැකියාවක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් අධ්‍යක්ෂක ආර් එම් පී කරුණාරත්න කියා සිටියේය.

“අද මේ සම්බන්ධයෙන් දේශපාලකයන් කිහිප දෙනෙකුත් කතා කළා. ඒ ගැන තමන් හා ජනතාව දැනුවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඒ අනුව ඉක්මනින් ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්න ඕනෑ ගස් නොකපා වැව සංවර්ධනය කරන්න බැහැ කියන එකත්,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“ඒ නිසා ගම්වැසියන්ට වැව සංවර්ධනය කිරීමට අවශ්‍ය නොමැතිනම් අපිට ඒ ගැන සලකා බැලිය හැකියි. නමුත් අපි කියන්නේ වැවේ බැම්ම ශක්තිමත් කිරීම සඳහා ගස් කපලා වැව් බැම්ම සංවර්ධනය කළ යුතුයි කියලයි.”

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී හලාවත ප්‍රාදේශීය ලේකම් අනුර දිසානයක කියා සිටියේ අදාළ සැලසුම පිළිබඳ තමන් දැනුවත් බවය.

ඉදිරියේදී වාරිමාර්ග බලධාරීන් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

තවත් කියවන්න:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here