කුඩා දැරියක් අපයෝජනය කිරීම ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තවමත් නිහඬයි

0
16


පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන, පුරුෂයකු විසින් කුඩා දැරියක ලිංගිකව අපයෝජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට විරෝධය පළ කරමින් කලාකරුවෝ, සමාජ ක්‍රියාකාරිකයෝ ඇතුළු පිරිසක් අද (26) උදැසන මාදිවෙල පිහිටි එම ආයතනය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.

‘අලුත් පියාපත්’, ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’  ඇතුළු සංවිධාන, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් මෙම නිහඬ විරෝධතාවයට සහබාගී වී සිටියහ.

මේ වනවිට මෙම ළමා අපචාරය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර මාසයකට අධික කාලයක් ගත වී ඇතුවා සේම මේ වනවිට මිට විරෝධය පළකරමින් රටේ කිහිප තැනකදී හඬ නැගී ඇත. එහෙත් ඊට වගකිව යුතු පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමට අදාල බලධාරීන්ට තවමත් හැකියාව ලැබී නැත. මේ පිලිබඳ අදහස් දක්වන කලාකරුවන් පවසන්නේ මෙවන් ප්‍රතිචාරයකි.

රංගන ශිල්පිනි කෞශල්‍යා ප්‍රනාන්දු

“මම කතා කරන්නේ කිසිම පාටකට හෝ පක්ෂයකට සම්බන්ධව නෙවෙයි මවක් වශයෙන්. මටත් ඉන්නේ කුඩා දරුවෝ දෙන්නෙක්. මේ දේවල් දකින කොට අපිට දරාගන්න බැහැ. කාර්යක්ෂමව වැඩ කරන්න බලාපොරොත්තු ඇති කරගෙනයි මේ ආණ්ඩුව බලයට පත්වුණේ. ඔවුන් මේ සඳහා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු යි. ඉහල සිට පහල පන්තිය දක්වා අද සමාජයේ දක්නට තියෙන මානසික ව්‍යාධි තත්වයක් මෙය. අපි අපේ දරුවෝ බේරා ගන්න ඕන.”

රංගන ශිල්පිනි හිමාලි සයුරංගි

“මේ රටේ පාලකයෝ ඇස් පියාගෙන ඉන්නේ ඇයි කියලා මම ප්‍රශ්න කරනවා. මම කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නෙවෙයි මවක් විදියට දරුවන් වෙනුවෙන් මේ කතා කරන්නේ. කරුණාකර ක්‍රියාත්මක වෙන්න. ඇස් පියාගෙන ඉන්න පාලකයෝ කරුණාකර ඉස්සරහට එන්න. මේ වෙනුවෙන් ක්‍රියා කරන්න. එතකන් අපි සටනේ යෙදෙනවා”

රංගන ශිල්පී සම්පත් ජයවීර

“මේ වීඩියෝව මගේ ඇස ගැටෙන්නේ ජනවාරි මාසයේ 21 වැනිදා. ජනවාරි 22 වැනිදා ළමා ආරක්ෂක අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකයට කතා කරලා මම පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පැමිණිලි අංක 20cc1567 යටතේ. එක්තරා ෆේස්බුක් ගෘප් එකක මේ වීඩියෝව ශෙයා වුණ වෙලාවේ ඒක දැකලා ඇති වෙච්ච කම්පනය නිසා මමත් මගේ මිත්‍රයකුත් එකතු වෙලා තමයි මේ පැමිණිල්ල කළේ. මාස දෙකක් විතර වෙන්න එනවා අපරාධකාරයෝ අත්අඩංගුවට අරගෙනවත්, කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතාම කාර්යක්ෂමව කටයුතු කරගෙන යන වත්මන් ජනාධිපතිතුමාගේ ඇස ගැටෙන්න ඕන කියලා මම හිතනවා.

ළමා අපරාධ සම්බන්ධයෙන් මේ රටේ වැඩිහිටියෝ මිට වඩා සවිඥානික විය යුතු යි. අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා කියලා පැහැදිලි නේ. අපචාරය කරමින්ම ඒ පුද්ගලයා වීඩියෝ කරලා තියෙනවා කියලා අපිට පේනවා. මේ වීඩියෝ එක දැක්කම මට දැනුණු කම්පනය නිසා තමයි මම මේ පැමිණිල්ල කළේ. අපි කියන්නේ අපරාධකාරයෝ හොයන්න කියලා. ළමයින්ට, ළමා ආරක්ෂක අධිකාරියේ පිහිටත් නැතිනම් කාගේ පිහිට ද?”

කථිකාචාර්ය ඉන්දිකා උපමාලි

“මම මවක් සහ ගුරුවරියක් හැටියටයි මෙතනට එන්නේ. ඒ අවුරුදු 6ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරලා, එය අන්තර්ජාලයට මුදා හැරලා, ඊට තවම නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවන අවස්ථාවක. ඒ වෙනුවෙන් මවකට ගුරුවරියකට, ඒ වගේම රටේ වැඩිහිටි පුරවැසියෙක්ට විතරයි හඬක් නගන්න පුළුවන්. අපිට පුළුවන් නම් අපේ ඡන්දයෙන් රටේ ජනාධිපතිතුමාව පත්කරගන්න, මේ රටේ සෙසු ඇමතිවරු, මන්ත්‍රීවරු පත්කරගන්න, ඇයි අපිට බැරි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයා ගන්න. මේ පළමුවෙනි සිදුවීම නෙවෙයි. මේ මොහොත වෙනකොටත් දරුවන් ලිංගික අපයෝජනයට ලක්වෙනවා වෙන්න පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here