කාන්තා රග්බි සංචිතයට මලල ක්‍රීඩිකාවන් සොයයි

0
62


ඔලිම්පික් වරම්-2022 ආසියානු පදක්කම් දිනන්න

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග ඉසව්ව ශක්තිමත් කිරීමට සහ වසර 2022 ආසියානු ක්‍රීඩා උළෙලේදි පදක්කමක් දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතයට ජවසම්පන්න මලල ක්‍රීඩිකාවන් කිහිපදෙනකු ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අවධානය යොමුවී තිබේ.

පසුගියදා නිමාවට පත්වූ ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගමාලාවේදි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක්වූ පසුබැස්ම සැළකිල්ලට ගනිමින් මේ තීරණය ගත් බව කාන්තා රග්බි ප්‍රධානි විශ්‍රාමික කර්නල් ධම්මික ගුණසේකර මහතා ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.

‘කාන්තා සත් සාමාජික රග්බි පිල මෙවර ආසියානු තරගාවලියේ කොරියාවේ පැවැති පළමු අදියරේදි සාර්ථක දස්කම් පෑවත්, පසුව ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් විවිධ ආබාධවලට ලක්වීම නිසා චීනයේ සහ කොළඹ පැවැති ඉතිරි තරගාවලිදි දැඩි පසුබෑමකට ලක්වුණා. එම තත්ත්වය මඟ හරවා ගැනීමට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. ‘ ගුණසේකර මහතා කීවේය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන නොවැම්බර් මාසයේ 6 සිට 11 දක්වා කොරියාවේදි පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලට විශිෂ්ට හැකියාවක් සහිත මලල ක්‍රීඩිකාවන් 2-3කගේ දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කෙරෙන අතර මලල ක්‍රීඩිකාවන් 10-15ක් අතර ප්‍රමාණයක් කාන්තා රග්බි සංචිතයට ඇතුළත් කරමින් ඔවුන් වැඩිදුර පුහුණුවට යොමු කර 2022 ආසියානු ක්‍රීඩා උළෙලට ප්‍රබල කණ්ඩායමක් යොමු කිරීම රග්බි ආයතනයේ සැලසුම වී තිබේ.

‘මීටර් සියය ධාවන ඉසව්ව තත්ත්පර 13ක පමණ කාලයකින් ද, මීටර් 200 ධාවන ඉසව්ව තත්ත්පර 26ක පමණ කාලයකින් ද නිමා කර ඇති මලල ක්‍රීඩිකාවන් කෙරෙහි වැඩි අවධානයක් අප යොමු කරනවා. ඒ වගේම රග්බි ක්‍රීඩාවට සරිලන ආකාරයේ උසක් තිබීමත් වැදගත්. අඩි 5කුත්, අඟල් 5 හෝ 6ක් පමණ උසක් තිබේනම් එය වඩාත් හොඳයි. ශාරිරිකව බර වැඩි ක්‍රීඩිකාවන් කෙරෙහි අප සැළකිලිමත් වුණත් කිලෝග්‍රෑම් 60ක පමණ බරක් ඇති මලල ක්‍රීඩිකාවන්ටත් මේ සඳහා අයැදුම් කළ හැකියි. ඒ වගේම තෝරාගන්නා ක්‍රීඩිකාවන් මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් තරගාවලි, ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලි සඳහා සහභාගි වී තිබේනම් එය අතිරේක සුදුසුකමක් ලෙස අප සළකනවා.‘ ධම්මික ගුණසේකර මහතා කීවේය.

‘ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අසාර්ථකත්වයට ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් ආබාධවලට ලක්වීම වගේම වැඩිපුර ක්‍රීඩා කිරීමත් බලපෑවා. ඔවුන්ගේ වයසත් බලපානවා. බොහෝ ක්‍රීඩිකාවන් අවුරුදු 27 ඉක්මවූ අය. කොයිතරම් දස්කම් දැක්වූවත් අත්දැකීම් වගේම වේගයත් රග්බි ක්‍රීඩාවට අත්‍යවශ්‍යයි. වයස අඩුවෙන තරමට වේගය වැඩිවෙනවා. ඒ නිසා අපි තරුණ ක්‍රීඩිකාවන් ගැන වැඩි සැළකිල්ලක් දක්වනවා.‘ ඔහු සඳහන් කළේය.

කාන්තා රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇති අතර ඒ සඳහා රග්බි ආයතනයේ නියෝජ්‍ය සභාපති රිස්ලි ඉල්යාස් මහතාගේ අධීක්ෂණය යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here