ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ජූඩෝ ජාතික පුහුණුකරු විදෙස් සංචාරයක

0
64


අතුරු කමිටුවටත් චෝදනා රැසක්

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ මහා පරිමාණයෙන් දූෂණ හා වංචා සිදුවූ ක්‍රීඩා සංගමයක් ලෙස අපකීර්තිමත් වාර්තාවකට කරපින්නා ගත් ශ්‍රී ලංකා ජූඩෝ සංගමයට අතුරු කමිටුවක් පත් කිරීමෙන් මෙරට ජූඩෝ ක්‍රීඩාවට පුනර්ජීවයක් ලැබෙනු ඇතැයි ද, දූෂිත නිලධාරීන්ට වැඩ වරදිනු ඇතැයි ද ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්ව තැබූ බලාපොරොත්තු සුණු විසුණු කර දමමින් මෑතකදී පත්වූ ජූඩෝ අතුරු කමිටුව ද දූෂණ හා වංචාවලට උඩගෙඩි දීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ එක්තරා උසස් නිලධාරියකුගේ වරප්‍රසාද මත වසර ගණනාවක් පුරා ජූඩෝ සංගමයේ සිදුවී ඇතැයි කියන විවිධ අක්‍රමිකතා අතුරු කමිටුව පත්වීමෙන් තුරන් වී ගොස් පසුගිය කාලය තුළ ජූඩෝ සංගමයේ සිදුවූ සියලු දූෂණ වංචා සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු වනු ඇතැයි බලාපොරොත්තු වූවද ඒ කිසිවක් මෙතෙක් නොවූ බවට ජූඩෝ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්ව අප්‍රසාදය පළ කර සිටී.

දූෂණ වංචා පිළිබඳ කඩිනම් පරීක්ෂණ පවත්වමින් ක්‍රීඩාව පිරිසුදු කිරීම වෙනුවට අතුරු කමිටුව විසින් අදාළ දූෂිත නිලධාරීන්ට තව දුරටත් ඔවුන්ගේ අකටයුතුකම් නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දී ඇතැයි බොහෝ පාර්ශ්ව චෝදනා කරති.

ජූඩෝ සංගමයට අනුබද්ධිත ක්‍රීඩා සංගම්වල පවා දැනුවත්භාවයකින් තොරව පසුගියදා ජාතික ජූඩෝ පුහුණුකරුවකු පත් කිරීමට ද අතුරු කමිටුව පියවර ගෙන ඇතැයි චෝදනා කරන එම පාර්ශ්ව අදාළ පුහුණුකරු ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව පසුගියදා පෝලන්තයේ පැවැති ජාත්‍යන්තර කනිෂ්ඨ ජූඩෝ තරගාවලියක් සඳහා එක්තරා පාසල් කණ්ඩායමක් සමග විදේශගතවී ඇතැයි ද චෝදනා කරයි.

මෙරට ක්‍රීඩා පනත යටතේ ජාතික පුහුණුකරුවකු විදේශ ගතවීමේදි ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය අත්‍යවශ්‍යය බව ප්‍රකට කරුණක් වුවත් අදාළ පුහුණුකරු එවැනි අනුමැතියක් ලබා නැතැයි වාර්තා වෙයි. එසේ වුවත් අතුරු කමිටුවේ සභාපතිවරයා ඒ පිළිබඳ දැනුවත්ව සිටි බවත් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ජූඩෝ සංචිතය පුහුණු කිරීමට අමාත්‍යාංශයේ නිර්දේශ මත රාජකාරි නිවාඩු ලබා සිටියදි එම පුහුණුකරු මෙසේ අනුමැතියකින් තොරව විදේශ ගතවීම නීතිවිරෝධී ක්‍රියාවක් බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා ජූඩෝ සංගම් සාමාජිකයන් පිරිසක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාශ නීති අංශයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. නමුත් ඊට කිසිදු පරීක්ෂණයක් සිදු නොවුණු බවටත්, ඒ වෙනුවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මින් ඉදිරියට ජාතික පුහුණුකරුවකු විදේශ ගතවීමේදි ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට සියළු ක්‍රීඩා සංගම්වලට ලිපි යොමු කිරීම පමණක් සිදු කර ඇති බවටත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ කරුණු විමසීමට දුරකතනය මගින් අවස්ථා කිහිපයකදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා සම්බන්ධ කරගැනීමට ‘දිනමිණ’ ගත් උත්සාහ කළ ද ඒ මහතා දුරකතනයට ප්‍රතිචාර නොදැක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here