කබඩි ක්‍රීඩකයන් තුනක් ගැන පරස්පර වෛද්‍ය වාර්තා දෙකක්

0
67


දකුණු ආසියා ක්‍රීඩා උළෙල වෙනුවෙන් නේපාලය බලා යෑමට සිටි කබඩි සංචිතයේ ක්‍රීඩිකාවකගේ හා ක්‍රීඩකයන් දෙදනකුගේ ශාරීරික යෝගයතා පිළිබඳ රජයේ වෛද්‍යවරයෙකු හා පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු ලබාදුන් පරස්පර විරෝධී වෛද්‍ය සහතික හේතුවෙන් ප්‍රබල ආන්දෝලනයක් ඇතිවෙයි. මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය අද පෙරවරුවේ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කොට ඇති අතර එම පරීක්ෂණයට ශ්‍රී ලංකා කබඩි සංගමයේ සභාපති, ලේකම්, සාග් කබඩි සම්බන්ධීකාරක හා වෛද්‍ය සහතිකය නිකුත් කළ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා කැඳවා ඇත.

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය වාර්තාව අනුව කබඩි පිරිමි සංචිතයේ රත්නායක හා පුෂ්පකුමාර යන ක්‍රීඩකයන් දෙදෙනා, කබඩි කාන්තා සංචිතයේ හේරත් ක්‍රීඩිකාව නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී නොකරණ ලෙස ශ්‍රී ලංකා කබඩි සංගමයට දැනුම්දී ඇත. එහෙත් පෞද්ගලික රෝහලකට ගොස් එම තිදෙනා ලබාගත් වෛද්‍ය වාර්තා අනුව ක්‍රීඩාවට සුදුසු යෝග්‍යතාවකින් පසුවන බව කබඩි සංගමයට හා ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම්දී ඇත.

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය වාර්තාව අනුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා සංචිතයෙන් ඉවත්කොට අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ අනු පිළිවෙල අනුව තෝරා ගැනීම් සිදු කිරීමට කබඩි සංගමය තීරණය කළද එම තීරණය තාවකාලිකව අත්හිටුවා පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ පිළිබඳව ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතාගෙන් අප කළ විමසුමකදී පැවැසූවේ ආබාධ තත්ත්වයන් ඉක්මණින් සුවකර ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීමක් නොමැතිනම් තරග සංචාර අහිමිවීම සාමාන්‍ය තත්ත්වයක් බවයි. “මේ අයට පමණක් නොවෙයි තවත් කිහිප දෙනකුටම ආබාධ තත්ත්වයන් ගැන ප්‍රශ්න තිබුණා. ඇතැම් අය ඒ ආබාධ ක්‍රමයෙන් සුවකර ගත්තා. අවාසනාවකට මේ අයට ආබාධ සුවකර ගැනීමට නොහැකි වුණා. ඒ නිසා අපේ නිර්දේශය වුණේ මේ අය තවමත් ක්‍රීඩාවට නුසුදුසු බවයි” ඒකනායක මහතා පැවැසීය.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්ම ඇති ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වාර්තාව හැර පෞද්ගලික රෝහල්වලින් ලබාදෙන වාර්තා පිළිගැනීමට කිසිසේත්ම සූදානම් නොවන බවද වෛද්‍ය ලාල් ඒකනායක මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කබඩි සංචිත පිළිබඳ පසුගිය කාලයේ වරින්වර විවිධ තොරතුරු වාර්තාවූ අතර ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ නේවාසිකව පුහුණුවීම්වල නිරතව සිටි කණ්ඩායම් භාර ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනකු අලුයම් කාලයේ බීමතින් පැමිණ තාක්ෂණික පුහුණුකරු බියවද්දා පහරදීමට තැත් කිරීමක්ද ඒ අතර විය.

අලුයම් කාලයේ ඇතිවූ මෙම සිද්ධියත් සමග සහය පුහුණුකරු ඉවතට පැනගොස් ක්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව ආසන්නයේ සැගවී සිට රාජකාරියට පැමිණෙමින් සිටි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතාට හා ශ්‍රී ලංකා කබඩි සංගමයේ සභාපති අනුර පතිරණ මහතා වෙත ද සිද්ධිය පිළිබඳ පැමිණිලි කළේය.

පසුව චොදනාලත් ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනාගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රීඩා තහනකමක් පැනවීමට ශ්‍රී ලංකා කබඩි සංගමය කටයුතු කළ අතර ඒ පිළිබඳ වාර්තාවක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here