කඳුකර ජනතාව වෙනුවෙන් සහෝදරත්වයේ ව්‍යාපාරයක් බිහිවෙයි

0
32


වසර 200කට ආසන්න කාලයක් වතු වැවිලි ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව සිය දිවිය කැපකරමින් රටේ සමස්ත ආදායමට විශාල පංගුවක් එකතු කරමින් ප‍්‍රමාණවත් ජීවන පහසුකම් නොලබා සිටින ජනතාවගේ හා සමස්ත කඳුකර ජනතාවගේ උන්නතිය හා එම ජනතාවට ජයග‍්‍රහණ ලබදීම වෙනුවෙන් මෙම කඳුකර සහෝදරත්ව ව්‍යාපාරය ආරම්භ කළ බව එහි කැඳවුම්කරු නාට්‍යවේදී, මඩකලපුව විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මුනියන්ඩි කාලිදාස් මහතා සඳහන් කරයි.

ඉතිහාසයේ වසර ගණනාවක සිට තම තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට පෙළගැසී සිටින දේශපාලන පක්‍ෂ හා විවිධ කණ්ඩායම් යටතේ හිරිහැරයට හා පෑගීමට ලක්ව සිටින ජනතාවට නිදහස හා ජයග‍්‍රහණය දිනාගැනීම වෙනුවෙන් තම සංවිධානය වටා එකතු වන ලෙස මුනියන්ඩි කාලිදාස් මහතා ඉල්ලීමක් කලේය. එසේම වතුකරයේ තිබෙන විවිධ ප‍්‍රගතිශීලි සංවිධාන අතුරින් කීපයක් දැනටමත් තම ව්‍යාපාරය සමග අත්වැල් බැඳගෙන සිටින බවත් අවධාරණය කළ ඒ මහතා වතුකරයේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් සංවිධානවලටද තමන් සමග එකතුවන ලෙසට විවෘත ආරාධනාවක්ද කළේය.

කඳුකර සහෝදරත්ව ව්‍යාපාරයේ ප‍්‍රථම මාධ්‍ය හමුව අමතමින් ඊයේ (07) හැටන් හිදී ඒ මහතා මේ බව පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී  කොටගල හෙද විද්‍යාලයේ අධ්‍යක්‍ෂිකා හා මානව හිමිකම් ක්‍රියාකාරිණී සුබෝදිනී මහත්මිය අදහස් දක්වමින් වර්තමානය වනවිට වතුකරයේ අසරණ ගැහැණු දරුවන්ට තරුණියන්ට අත්ව තිබෙන කණගාටුදායක තත්වය පිළිබඳ සඳහන් කළාය. වතුකරයේ කාන්තාවන්ගේ අඩු අධ්‍යාපන මට්ටමත් අසරණභාවයත් නිසා ඔවුන් විවිධ පුද්ගලයන්ගේ ලිංගික ගොදුරු බවට පත්වී සිටින බවත් වතුකරයේ කාන්තාවන්ට සාධාරණය ඉටුකිරීමට හා අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වන අරගලය සඳහා  විශ්වාසයෙන් තමන් කඳුකර සහෝදරත්ව ව්‍යාපාරය සමග එක්වූ බදව සුබෝදිනි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

වැවිලි ක්ෂේත‍්‍රයේ දුක්විඳින ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කඳුකර සහෝදරත්ව ව්‍යාපාරයට තම සංගමයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව මාධ්‍ය හමුව අමතමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ් මහතා සඳහන් කළේය. වසර 100කට වඩා පැරණි ලැයිම් කාමර තුළ දුක්විඳිමින් නිවසක, ඉඩමක අයිතිය නොලබමින් විවිධ වෘත්තිය සමිති හා ආණ්ඩු යටතේ තර්ජනයට, මර්ධනයට ලක්වෙමින් සිටින වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීමට පුළුල් බහුජන පෙරමුණක අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දෙන ලදී.  ඉතිහාසයේ වතු කම්කරුවන් සිය අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් දියත්කල සාධාරණ අරගලයන් වතුකරයේ  විවිධ දේශපාලන කණ්ඩායම් හා එක් එක් ආණ්ඩු විසින් යටපත් කළ බවද සෙල්වරාජ් මහතා අවධාරණය කළේ ය. එයට හොඳම උදාහරණය වතු කම්කරුවන්ගේ රුපියල් 1000ක අරගලය පාවාදීම යැයිද ඒ මහතා පැවසීය. එමනිසා විවිධ සංවිධාන හා විද්වතුන්ගෙන් සැදුම්ලත් ප‍්‍රගතිශීලි ව්‍යාපාරයක් වන කඳුකර සහෝදරත්ව වයාපාරයට සහයෝගය ලබාදීමට තම සංගමය තිරණය කළ බවද සෙල්වරාජ් මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සදහන් කලේය.

මෙම මාධ්‍ය හමුව සඳහා අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ නුවරඑළිය දිස්ත‍්‍රික් සංවිධායිකා කේ. කලෙයිචෙල්වි, නාට්‍ය ශිල්පී එම්. නවනීදන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here