ඔලිම්පික් පදක්කමකට යන්න මලල ක්‍රීඩාවට ප්‍රතිපාදන දෙන්න

0
23


සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු

වසර 28කට පසු දකුණු ආසියානු මලල ක්‍රීඩා බිමේ පෙරැළිකාරයන් බවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විධිමත් සැලස්මක් යටතේ ඔලිම්පික් පදක්කමක් කරා යෑමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කරයි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකු හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ අවධානයට මෙය යොමු කරන බව ප්‍රනාන්දු මහතා පැවැසීය.

ජාත්‍යන්තර තරගවලට සහභාගීවීමට හා දෙස් විදෙස් පුහුණු කටයුතු සදහා ප්‍රතිපාදන ඉල්ලා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ මලල ක්‍රීඩා සංගමයට තව දුරටත් අඬා වැටිය නොහැකි බව ඒ මහතා අවධාරණය කළේය.

“ පසුගිය කාලයේ මලල ක්‍රීඩාවට ප්‍රතිපාදන ගන්න නිලධාරීන්ගේ පස්සේ යන්න වුණා. හරියටම වසරකට දෙන මුදල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කිව්වොත් නිවැරදි සැලස්මක් හදලා ඔලිම්පික් යන මාවත විවර කළ හැකියි“ ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නේපාලයේ කත්මන්ඩු නුවර දසරාත් ක්‍රීඩාංගණයේදී පෙරේදා නිමාවු මලල ක්‍රීඩා තරගවලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 8ක් හිමිවූ අතර එය වසර 1991 කොළඹ දී පැවැති සාග් ක්‍රීඩා උළෙලේ දක්ෂතා ඉක්මවමා යෑමකි. එමෙන්ම වසර 28කට පසු ඉන්දියාව අබිබවා රන් පදක්කම් 15ක් දිනා ගැනීම ඉතිහාසගත වන ජයග්‍රහණයකි.

මෙලෙස මලල ක්‍රීඩාවෙන් සාර්ථකත්වක් ලබා ගැනීමට උපාය මාර්ග කවරක්දැයි අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පැවැසූවේ සංගමයේ සැලසුමට අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අති විශාල කැපවීම වැඩි ජයග්‍රහණයක් ලබා ගැනීමට හේතුව බවයි.

“ මේ වන විට අප විදෙස් පුහුණුකරුවන් තිදෙනකුගේ සේවය ලබා ගන්නවා. ඒ සියල්ල ඉතා අපහසුවෙන් සංගමයක් ලෙස අප කරන්නේ. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ඔලිම්පික් කමිටුව මෙයට වඩා සහය දුන්නානම් අපේ දරුවන් මෙයටත් වඩා හොඳ තැනක. ඔලිම්පික් කමිටුව අපට කිව්වා පදක්කම් දිනලා පෙන්වන්න කියා. දැන් අපි ඒක කළා. දින්නේ පදක්කමක් ද කියලා සැක නම් අතට අරන් බලන්න කියා ඔලිම්පික් කමිටු ලේකම්ට කියනවා. මේ ක්‍රීඩා උළෙලේදී ඉතාම කණගාටු තත්ත්වයක් තිබුණේ. ක්‍රීඩා උළෙලට යන්න කලින් එක ඉසව්වකට එක්කෙනයි කියනවා. තවත් දවස් කිහිපයකින් දෙන්නෙක් සූදානම් කරන්න කියනවා. මොකක්ද මේ විහිලු වැඩ. අප මේ තත්ත්වය යටතේ රට වෙනුවෙන් අපේ යුතුකම කළා“ ප්‍රනාන්දු මහතා පැවැසීය.

“ නේපාලයේ මලල ක්‍රීඩා කණ්ඩායමට කාමර පහසුකම් හරිහැටි තිබුණේ නෑ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් තැන් තැන්වල. පුහුණුකරුවන් තවත් තැනක. මෙහෙම තත්ත්වයක් තිබියදී අපේ දරුවන් දක්ෂතා අතරට පිවිසියේ. සාග් ක්‍රීඩා උළෙල වසර දෙකෙන් දෙකට හරියටම පැවැත්වෙනවා නම් එය ඉලක්ක කොට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු වෙනවා. එවිට දක්ෂතා ඉදිරියට එනවා. ඒ නිසා මේ ක්‍රීඩා උළෙල දකුණු ආසියාවට ඉතාම වැදගත්. යොවුන ක්‍රීඩිකා දිල්ෂි කුමාරසිංහ රන් පදක්කම් 3ක් දින්නා. ඇය කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වුණා. අපේ තරුණ කණ්ඩායමට හොඳ අනාගතයක් තියෙනවා. ඒ දක්ෂතා ඔප මට්ටම් කිරීමට අපි කැප වෙනවා“ ප්‍රනාන්දු මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here