ඔලිම්පික් කල් දැමීමෙන් ජපාන ආර්ථිකයට ඩොලර් බිලියන 7ක් අහිමි වෙයි

0
92


කොරෝනා වසංගතය හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීමට සිදුවීමෙන් ජපානයට අමෙරිකානු ඩොලර් බිලියන 7ක පාඩුවක් විඳ ගැනීමට සිදුවනු ඇතැයි ආසියානු ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. තෝකියෝ නුවර සත්කාරකත්වයෙන් ලබන ජූලි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ මේ ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා කල් දැමූ බව පෙරේදා ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ අතර ඒ වනවිටත් ජපාන රජය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 9ක පමණ මුදලක් (ජපාන යෙන් ට්‍රිලියනයක් ) වැය කර ඇතැයි ඇතැම් විගණන වාර්තා මගින් පෙන්වා දී තිබේ. ආසියානු පෞද්ගලික ආර්ථික විශේෂඥ කණ්ඩායමක් විසින් තක්සේරු කර ඇති පරිදි ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීම හේතුවෙන් ඩොලර් බිලියන 5.42 – 6.32ක අතර මුදලක් (ජපාන යෙන් 600- 700ක්) ජපාන ආර්ථිකයට අහිමිවනු ඇතැයි වාර්තා වෙයි.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීමට සිදුවනු ඇතැයි මාර්තු මාසයේ ආරම්භයේ සිටම අනාවැකි පළවීමට පටන් ගෙන තිබූ අතර කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග එය තහවුරු විය.

සැලසුම් කළ පරිදි ඔලිම්පික් ක්‍රීඩා උළෙල නොපැවැත්වීම ජපානයේ සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ලවූ සාධකයක් බවට පත්වී ඇත. කෙසේ වෙතත් තෝකියෝ සත්කාරකත්වය යටතේම ලබන වසරේ ගිම්හානයේ නිමාවට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට ජපානය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකඟතාවකට පැමිණ සිටින බැවින් එම ක්‍රීඩා උළෙල අවලංගු කිරීමෙන් ජපානයට සිදුවිය හැකි ජපාන යෙන් ට්‍රිලියන 4ක විශාල ආර්ථික බිඳ වැටීම වළක්වා ගැනීමට සමත්වී තිබේ. කෙසේ වෙතත් ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් යාමෙන් මේ වසර අවසානයේ ජපානය බලාපොරොත්තු වූ ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට නොහැකි වනු ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ලබා දෙමින් ජපානය වැය කිරීමට බලාපොරොත්තු වූ තක්සේරු ගත මුදල අමෙරිකානු ඩොලර් බිලියන 12.6ක් (යෙන් ට්‍රිලියන 1.35ක් ) විය. ඊට තෝකියෝ නුවර පරිපාලයෙන් යෙන් බිලියන 597ක් ද, ජපාන සංවිධායක කමිටුවෙන් යෙන් බිලියන 60ක් ද, ජපාන රජයෙන් යෙන් බිලියන 150ක් ද ඇතුළත් විය. ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් ජපානයට ආර්ථික වශයෙන් විශාල ආදායමක් උපයාගැනීමේ අවස්ථාව ද උදාවී තිබිණි. ක්‍රිඩා උළෙල නැරැඹීමට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වූ ආරාධිතයන් වෙනුවෙන් සුඛෝපභෝගී හෝටල් කාමර 46,000ක් වෙන් කිරීමට නියමිතව තිබූ අතර අතිරේක වෙළෙඳම මගින් එරට ආර්ථිකයට ද සැළකිය යුතු ප්‍රමාණයේ වර්ධනයක් බලාපොරොත්තු විය. ජපානයේ ප්‍රමුඛ තලයේ ව්‍යාපාරිකයන් ද ක්‍රීඩා උළෙලට අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඩොලර් බිලියන 3.3ක මුදලක් වැය කර තිබිණි. මීට අමතරව ටොයෝටා, බ්‍රිජ්ස්ටෝන් සහ පැනසොනික් වැනි ජපාන ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග වෙන් වෙන් වශයෙන් ගිවිසුම්ගත වී තිබිණි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරැඹීමට තෝකියෝ නුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රමාණය කොපමණදැයි ප්‍රකාශ කිරීම තරග සංවිධායක මණ්ඩලය ඊයේ ප්‍රතික්ෂේප කළේය. එය අතිවිශාල ප්‍රමාණයක් බව ඇතැම් වාර්තා මගින් පෙන්වා දෙයි. ක්‍රීඩා උළෙල නැරැඹීම සඳහා ජපානය තුළ පමණක් ප්‍රවේශපත් මිලියන 4.5ක් අලෙවි වී තිබුණු අතර මිලියන 8කට ආසන්න ප්‍රවේශපත් තොගයක් අලෙවි කිරීම තරග සංවිධායක මණ්ඩලයේ බලාපොරොත්තු විය. නමුත් ක්‍රීඩා උළෙල කල් යාමෙන් ප්‍රවේශපත් මිළ දී ගත් ක්‍රීඩාලෝලීන්ට නැවත මුදල් ලබා දෙන්නේදැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here