එෂාන් මාලිංග එයාර්ටෙල් ෆාස්ටස්ට් කිරුළ දිනයි

0
62


‘එයාර්ටෙල් ශ්‍රී ලංකා ෆාස්ටස්ට්‍’ හෙවත් ශ්‍රී ලංකාවේ අනාගත තරුණ වේගපන්දු යවන්නන් සොයා යාමේ මෙහෙයුම අවසන් කරමින් හොඳම වේගවත්ම පන්දු යවන්නන් තිදෙනාට කිරුළු පැළඳවීම පසුගියදා එයාර්ටෙල් ලංකා ආයතනය ක්‍රියා කළේය.

එයාර්ටෙල් ෆාස්ටස්ට් හි සමස්ත ශූරතාව 19න් පහළ කාණ්ඩය නියෝජනය කළ එෂාන් මාලිංග හිමිකරගත් අතර ඔහු පැ .කි.මී.141ක උපරිම වේගයක් වාර්තා කිරීමට සමත් විය. 

මීට සමගාමීව 19න් ඉහළ කාණ්ඩයේ ශූරතාව මලිඳු ෂෙහාන් හිමි කරගත්තේ උපරිම වේගය ලෙස පැ .කි.මි.140 ක් සටහන් කරමිනි. ප්‍රේක්ෂකයන්ගේ වඩාත් ආකර්ෂණය යොමු වූ ස්ලිංග මාලිංග ලෙස හැඳින් වූ ශයනි සේනාරත්න කාන්තා විවෘත තරගයෙන් ජයගත් අතර ඇය පැ කි.මි.104 ක වේගයක් වාර්තා කිරීමට සමත් වූවාය.

එයාර්ටෙල් ලංකා හි ප්‍රධාන විධායක නිළධාරී සහ කළමනාකාර අධ්‍යක්‍ෂ ජිනේෂ් හෙජ් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්, ‘එයාර්ටෙල් අපි සැමවිටම තාරුණ්‍යය සවිබල ගැන්වීමට මුල්තැන දෙන ආයතනයක්. එයාර්ටෙල් ශ්‍රී ලංකා ෆාස්ටස්ට් තුළින් අප බලාපොරොත්තු වුණේ ක්‍රිකට් ලැදි තරුණ තරුණියන්ට ජාතික තලයට ඒමට අවස්ථාවක් ලබා දීමයි. එහිදී ඔවුන්ට තම ක්‍රිකට් වීරයන්ගේ උපදෙස් සහ පුහුණුව ලබා ගැනීමට හැකි වුණා. මේ වැඩසටහනේ සාර්ථක ප්‍රතිඵල දැන් පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. තරගයට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන් බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජ වලට ඇරයුම් ලබා තිබෙනවා. කාන්තා විවෘත තරගයේ ඉහලම දක්ෂතා දැක්වූ වූ ක්‍රීඩිකාවන්ට ද ජාතික සංචිතයට තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා කැඳවීම් ලැබී තිබෙනවා. මේ තරගයට සහභාගී වූ සියලු‍ම දෙන පෙනෙන දක්ෂතා සහ දියුණුවත් ඔවුන්ගේ අධිෂ්ඨානයත් පිළිබඳ එයාර්ටෙල් අපි සැවොම ආඩම්බරයට පත්වෙනවා’ යැයි පැවසීය.

මෙහිදී අනුශූරයන් වූ 19 න් පහළ මොහමඩ් ආකිල් (වේගය පැ.කි.මි.134 ), 19න් ඉහළ කාණ්ඩයේ මොහමඩ් ෆහීම් (වේගය පැ.කි.මි.137) සහ දාහතර හැවිරිදි ලාබාල මල්ෂා මධුෂානි (වේගය පැ.කි.මි.101) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අනුග්‍රහය දැක්වීමට ආයතනය කටයුතු කළේය.

එයාර්ටෙල් ශ්‍රී ලංකා ෆාස්ටස්ට් මූලික සුදුසුකම් ලැබීමේ වට සඳහා 10000 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් දිස්ත්‍රික්ක 11ක් නියෝජනය කරමින් සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ හිටපු ජාතික පුහුණුකරු අනුෂ සමරනායක මහතාගේ දැඩි පුහුණුව සහ අධීක්ෂණය යටතේ පළමු වටය සඳහා 145 දෙනකුත්, දෙවැනි වටයේදී 45 දෙනකුක් තෝරා ගත්හ. ඔවුන්ට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු අනුෂ සමරනායක, ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක සහ ක්‍රිකට් වාර්තා සුනුවිසුනු කළ භයානකම යෝකර් පන්දු යවන්නා ලෙස නම් ලද ලසිත් මාලිංග මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය නාමයන් සටහන් කළ චමින්ද වාස්, හෂාන් තිලකරත්න සහ උපුල් චන්දනගේ මග පෙන්වීම හිමිවිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here