එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ඇමති දිනේෂ් ශ්‍රී ලංකාවේ ස්ථාවරය කියයි

0
264


Image copyright
Getty Images

Image caption

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වෙනි සැසිවාරය

ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරන ලද යෝජනාවෙන් ඉවත්වන නමුත් තිරසාර සාමයක් සහ සංහිඳියාවක් සඳහා යන ගමනට අවශ්‍ය වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතාව ලබා දුන් ඉලක්ක ජය ගැනීම පිණිස ශ්‍රී ලංකාව තවදුරටත් කැප වන බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඒ අනුව 2019 මාර්තු මස ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් සම්මත කර ගන්නා ලද “සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය” මැයෙන් යුත් 40/1 යෝජනාවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාව තීරණය කළ බව අමාත්‍යවරයා මානව හිමිකම් මණ්ඩලයට දැනුම් දුන්නේය.

ඔහු ඒ බව දන්වා සිටියේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 43 වෙනි සැසිවාරය අමතමිනි.

40/1 යෝජනාව තුළ 2015 ඔක්තෝම්බර් මස ඉදිරිපත් කළ 30/1 සහ 2017 මාර්තු මස ඉදිරිපත් කළ 34/1 පූර්වගාමී යෝජනා මත පදනම් වී සහ එම යෝජනා ද අන්තර්ගත වී තිබේ.

පළමුව රජයේ ප්‍රතිපත්ති රාමුව අනුගමනය කරමින් දැනට පවත්නා යාන්ත්‍රණ යෝග්‍ය පරිදි අනුවර්තනය කර ගැනීම ඇතුළු සියල්ල අන්තර්ගත, දේශීය වශයෙන් නිර්මාණය කර ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා සහ වගවීමේ ක්‍රියාදාමයක් ඔස්සේ තිරසාර සාමය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී කියා සිටියේය.

මානව හිමිකම් හා ජාත්‍යන්තර මානූෂීය නීතිය උල්ලංඝනය වීම් පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ව ශ්‍රී ලාංකික විමර්ශන කොමිසම් වාර්තා සමාලෝචනය කිරීමටත්, ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කොට නව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාර ක්‍රියාත්මක කරනු පිණිස, ක්‍රියාත්මක කළ හැකි පියවර යෝජනා කිරීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත් කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

Image copyright
UN

Image caption

සමුළුව හමුවේ අදහස් දක්වන විදේශ කටයිතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

දෙවනුව 2030 තිරසර සංවර්ධන න්‍යායපත්‍රය ද ඇතුළු ශ්‍රී ලංකාව සතු බැඳීම්වලට ගැළපෙන ආකාරයකින්, නිසි ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික ක්‍රියාදාම ඔස්සේ, මෙතෙක් නොවිසඳී ඇති ගැටලු නිරාකරණය කිරීම හා අවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී කියා සිටියේය.

ඔහු පවසන පරිදි, නීතිය යටතේ පුද්ගල හා සාමූහික අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂණ ප්‍රගමනය කිරීමෙන් ද, යුක්තිය හා සංහිඳියාව සහතික කිරීමෙන් හා සමාජයේ සිටින අනතුරට භාජනය විය හැකි කොටස්වල ගැටලුවලට විසඳුම් ලබාදීමෙන් ද, ජනතාව කෙරෙහි රජය තුළ ඇති කැපවීමෙන් පැනනැඟෙන ප්‍රතිපත්ති යහපත් චේතනාවෙන් යුතුව ප්‍රදර්ශනය කිරීම ද ඊට ඇතුළත් වේ.

2030 තිරසර සංවර්ධන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට උපකාර කරනු වස් එක්සත් ජාතීන්ගේ අදාළ ආයතන සම්බන්ධ කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී එකඟ වූ බවත් ඇමතිවරයා සිහිපත් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යවල සහයෝගය ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

කුමක් ද මේ 30/1 යෝජනාව?

Image copyright
Reuters

Image caption

යුද සමයේ 20,000 ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇතැයි ආයතන ගණනාවක් ඇස්තමේන්තු කරයි

බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු 30/1 යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති කරුණු 9 :

  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
  • සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
  • අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම
  • වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම
  • එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
  • විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍
  • අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
  • ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම
  • කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම

මේ අතර, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම ද නිර්දේශ අතර විය.

මින් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කර ඇති අතර ඇතැම් ඒවා ක්‍රියාත්මක වී නැත. දුර්වල මට්ටමින් ක්‍රියාත්මක වන නිර්දේශයන් ද පවතී.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශය ගැන ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් මානව හිමිකම් නීතිවේදිනී භවානි ෆොන්සේකා පවසන්නේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඬුවම් දීමට අපොහොසත්වීම ගැන ඇමතිවරයා සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවය. විශේෂයෙන්ම තවත් පරීක්ෂණ කොමිසමක් පිහිටුවීම වැරදිකරුවන්ට දඬුවම් නොකිරීමේ ක්‍රියාදාමයේ දිගුවක් බව ඇයගේ අදහස වී තිබේ.

යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන රාජපක්ෂ පාලනය ඒ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ජෝන් ෆිෂර් පවසා තිබුණි.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙබරවාරි 28 වෙනිදා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ හමුවීමට නියමිත අතර පෙබරවාරි 27 වෙනිදා, ඉදිරිපත් කෙරෙන ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමට නියමිත බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මතු කළ කරුණු

Image copyright
Getty Images

Image caption

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවක කරුණු රැසක් මතු කර තිබේ.

ඇය එම වාර්තාවෙහි සඳහන් කර ඇත්තේ, 30/1 යෝජනාවට අනුකූලව සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් ලබා ඇති බවය.

එහෙත්, ශ්‍රී ලංකා ආණ්ඩුව දඬුවම් ලබා දීමට අපොහොසත් වීම හා ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට දක්වන නොහැකියාව නිසා මානව හිමිකම් උල්ලංඝණයවීම් නැවත ඇති වීමට හේතු විය හැකි බව එහි සඳහන් කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක 30/1 යෝජනාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන ලෙසත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.

දෙමළ ජාතික සන්ධානය

අදාළ යෝජනාවෙන් ඉවත්වීමට කටයුතු කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේදී වත්මන් රජයට ඒ වෙනුවෙන් වගකීමට සිදුවනු ඇති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පසුගිය 22 වෙනිදා පැවසීය.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ අදාළ යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවත් එම යෝජනාවට ඉන් බලපෑමක් නොවනු ඇති බවය.

  • යුද අපරාධ චෝදනා: යෝජනා ඉටු නොකළොත් කුමක් වෙයි ද?
  • 30/1 යෝජනාවෙන් ඉවත් වීම ශ්‍රී ලංකාවට අවාසි ද?

වත්මන් රජය එවැනි තීන්දුවක් ගනු ලැබුවේ එළෙඹෙන මහ මැතිවරණයේ දී දකුණේ ඡන්ද ඉලක්ක කර ගෙන යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් එහිදී පවසා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here