ආසියානු සත් සාමාජික කාන්තා රග්බි සංජු යළි නායිකාව

0
64


ආසියානු සත් සාමාජික රග්බි පිටියේ කාන්තා තරගමාලාවට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස නැවතත් සංජු විජේතිලක නම් කර තිබේ. නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන සංජු පසුගිය වසරේ ආසියානු සත් සාමාජික තරගමාලාවේ දකුණු කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැති දෙවැනි සහ අවසන් අදියරවලදී ශ්‍රී ලංකා සත් සාමාජික නායිකාව ලෙස කටයුතු කළාය.

ක්‍රීඩිකාවන් 11 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට මෙවර නවක ක්‍රීඩිකාවෝ ඇතුළත් නොවෙති. අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් පිරිසකගෙන් සමන්විත මෙම කණ්ඩායමට හිටපු නායිකාවන් කිහිපදෙනකුම ඇතුළත්වීම කැපී පෙනේ.

පසුගිය වසරේ තරගමාලාවේ හොංකොං, දකුණු කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැති අදියර ත්‍රිත්වයේදීම පළඟ ශූරියන් ලෙසින් තරගාවලි නිමාවට පත් කරමින් සමස්ත තරගමාලාවේ පස්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. එහිදි තායිලන්ත ක්‍රීඩිකාවන් පළඟ ශූරියන් තෝරාගත් අවසන් තරග 3දිම ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදිනියන් වීම කැපී පෙනුණි.

සංදීපා හේමකුමාරිගේ නායකත්වයෙන් පසුගිය වසරේ හොංකොං තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා පිල පළඟ ශූරතා අවසන් තරගයේදි ලකුණු 22-10කින් තායිලන්තය පරාජය කිරීමට සමත්වූ අතර තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම නිසා සංදීපාට මාස ගණනාවක් රග්බි පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව සංජු විජේතිලකගේ නායකත්වයෙන් දකුණු කොරියානු තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා පිල පළඟ ශූරතා අවසන් තරගයේදි ලකුණු 22-5කින් තායිලන්තය පරදවා සිය ස්ථානය රැක ගැනීමට සමත්වූ අතර කොළඹ පැවැති අවසන් අදියරේ තරගාවලියේදිත් ලකුණු 7-5කින් තායිලන්තය පරාජය කරමින් සමස්ත තරගමාලාව පුරා පස්වැනි ස්ථානය රැක ගැනීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල සුදත් සම්පත් මහතාගේ පුහුණුකාරීත්වයෙන් ලබන 28 වැනිදා දකුණු කොරියාව බලා පිටත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි පිල මෙසේය – සංජු විජේතිලක (නායිකා), අනූෂා අත්තනායක, අයේෂා පෙරේරා, අයේෂා කළුආරච්චි, දුලානි පල්ලිකොන්දගේ, රන්දිකා කුමුදුමලී, ශානිකා මධුමාලි, තීක්ෂණා ලියනගේ, තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි, නිමේෂා විජේවර්ධන, ජීවන්ති ගුණවර්ධන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here