ආසියානු යොවුන් බොක්සිං තරග බිමට ශ්‍රී ලංකාවෙන් 2ක්

0
75


ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරින්ද නෙත්මිණ සහ තනෝජ් රශ්මික සුදුසුකම් ලබා සිටිති.

රටවල් 26ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් හෙට (9) සිට 18 වැනිදා දක්වා මොංගෝලියාවේ පැවැත්වෙන මෙවර තරගාවලියේදි නෙත්මිණ කිලෝග්‍රෑම් 52 බර පන්තිය යටතේ තරග වදින අතර කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ රශ්මික තරග බිමට එක්වනු ඇත.

ආසියානු යොවුන් බොක්සිං පිටියේ තරග වැදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවූයේ මෙරට බොක්සිං වළල්ලට දස්කම් සපිරි යොවුන් ක්‍රීඩකයන් වැඩි පිරිසක් එක් කර ගැනීමට ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති ඩයන් ගෝමස් මහතා ඉදිරිපත් කළ සංකල්පය යටතේය.

හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයේ ප්‍රබල ක්‍රීඩකයකු වන තනෝජ් රශ්මික පසුගිය වසරේ ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වන අතර පසුගිය වසරේ පැවැති එල්.වී.ජයවීර, ටී.බී.ඡයා සහ යොවුන් බොක්සිං තරගාවලියේ ශූරයා බවට පත්වූ තරින්ද නෙත්මිණ නාරංදෙණිය ජාතික පාසලෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙකි.

මෙවර ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියට කසකස්තානය, චීනය, පිලිපීනය, තජිකිස්තානය, තායිලන්තය සහ සත්කාරක මොංගෝලියාව ඇතුළු ප්‍රබල රටවල් රැසක් තරග වදී. අමිල අරවින්ද සහ දීපාල් ජයසිංහ මහත්වරුන්ගේ පුහුණුකාරීත්වයෙන් සහ නාරංදෙණිය ජාතික පාසලේ විදුහල්පති ලාල් ප්‍රියදර්ශන මහතාගේ කළමනාකාරීත්වයෙන් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම අද උදෑසන මොංගෝලියාව බලා පිටත්ව ගියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here