ආශා ඩි වොස්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශිෂ්ටත්වයට පාත්‍ර වූ ලාංකික කතගෙන් උගත හැකි පාඩම්

0
7


Image copyright
Bret Hartman/Asha Se Vos/Facebook

වසර 40ක ඉතිහාසයක් තුළ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවන් දහස් ගණනක් අතරින් දීප්තිමත් ම ශිෂ්‍යාවන් 20 දෙනෙකු අතරට ඇතුළත් වීමට යමෙකුට අවස්ථාව හිමි වන්නේ නම් එය දුර්ලභ ජයග්‍රහණයකි.

එවැනි විශිෂ්ටත්වයක් ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස්ට හිමිව තිබේ.

ඒ අනුව, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කෙරෙන පළමු ශ්‍රී ලාංකික කත බවට ඇය පත් වනු ඇත.

ඇය මීට පෙර බීබීසී පුවත් සේවය නම් කළ ලෝකයේ වඩාත් ම බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනාට ඇතුළත් වූවාය.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තලයකට රැගෙන යාමට දායක වූ සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වන 40 හැවිරිදි ආශා ඩි වොස් බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකි, මේ.

ප්‍රශ්නය: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කෙරෙන පළමු ශ්‍රී ලාංකික කත බවට පත්වීම ඔබට දැනෙන්නේ කොහොම ද?

පිළිතුර: ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වන ලොව පැරණිතම විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශනය කරන්න මගේ ඡායාරූපයක් තෝරා ගැනීම ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒක මම කළ කැපවීම්වලට ලැබුණු ගෞරවයකට වඩා ශ්‍රී ලංකාවට ලෝකයේ යම් ගෞරවයක් ලබා දෙන්න හැකි වීම ගැන මම සතුටු වෙනවා.

ප්‍රශ්නය: ඔබේ පාසල් ජීවිතය පිළිබඳ මතකය මොන වගේ ද?

පිළිතුර: මම මූලිකව අධ්‍යාපනය ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයේ (Ladies’ College, Colombo) මම පාසලේදී කිසි දවසක අධ්‍යාපනයට සම්බන්ධ තෑග්ගක් හෝ සම්මානයක් ලබාගෙන නෑ. මම පාසල් කාලේ නරක ශිෂ්‍යාවක් වුණේ නැහැ. ඒත් මම වැඩිපුර මගේ කාලය ගත කළේ, ගස් නගින්න, අඹ කඩන්න වගේ ම පිහිනන්නයි.

Image copyright
Asha De Vos/Facebook

මතක තබා ගැනීම මූලික කර ගත්ත අපේ අධ්‍යාපන ක්‍රමයෙන් මට සහයක් ලැබෙයි කියලා මම හිතුවේ නැහැ. මගේ වාසනාවට මගේ දෙමව්පියොත් එහෙම හිතුවෙ නැහැ. පාසල් කාලේදී ක්‍රීඩාවලට ගොඩක් ජයග්‍රහණ ලබා ගත්තත්, කිසි ම දවසක ඉගෙනීමට අදාළ තෑගි ප්‍රදානෝත්සවයකදී මම වේදිකාවට නැගලා නැහැ. මගේ යාළුවෝ දිගින් දිගට ම විෂයයන්ට විශිෂ්ට සාමාර්ථ අරගෙන තෑගි ලබා ගන්නකොට ඔවුන්ගේ හැකියාවට මම අත්පොලසන් දුන්නා.

මට කියන්න තියෙන්නේ, ඔබ පාසල් කාලය ගත කළ ආකාරය ඔබේ ජීවිතයේ ඉදිරි ගමනට බරපතළ ලෙස හැම විට ම බලපාන්නේ නැහැ. ඔබ ඔබේ ජීවිතයේ කවුරුන් වේ ද යන්න තීරණය කරන්න පුළුවන් ඔබට ම පමණයි.

ප්‍රශ්නය: ඔබ මේ ගෞරවය සඳහා තෝරා ගැනුණේ කොහොම ද?

පිළිතුර: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මා ඉගෙන ගත් ලින්කන් විද්‍යාලයට ශිෂ්‍යාවන් බඳවා ගැනීම ආරම්භ වෙලා ලබන වසරට අවුරුදු 40ක් සපිරෙනවා. එය සැමරීම සඳහා පාලනාධිකාරිය තීරණය කරලා තියෙනවා, එහි ඉගෙන ගත් ශිෂ්‍යාවන් 20 දෙනෙකුගේ ඡායාරූප එල්ලා තබන්න.

Image copyright
Asha De Vos/Facebook

දැනට ඉගෙන ගන්න සහ අනාගතයේ ඇතුළත් වන ශිෂ්‍යාවන්ට යම් උත්තේජනයක් සැපයීම තමයි ඒකේ අරමුණ. ඒ අනුව, පසුගිය දශක 4ක කාලයේදී ඉගෙන ගත් විශිෂ්ට ශිෂ්‍යාවන් 20 දෙනෙකුගේ ඡායාරූප ඒ සඳහා තෝරාගෙන තිබෙනවා. මම එතන ඉගෙන ගත්තේ අවුරුද්දක් වගේ කෙටි කාලයක් විතරයි. ඒත් ඔවුන් මා ඉගෙන ගත් කාලය ගැන නොසලකා මා කළ අධ්‍යයන කටයුතු ගැන අවධානය යොමු කරලා තියෙනවා. මා මෙතෙක් පැමිණි ගමන් මග තවත් ශිෂ්‍යාවන්ගේ සිහින සහ විශ්වාසයන්ට උත්තේජනයක් වනු ඇති.

ප්‍රශ්නය: ඔබේ අනාගත කාර්යයන් සඳහා ඉන් ලැබෙන පිටිවහල කුමක් ද?

පිළිතුර: සම්මාන හෝ ගෞරවයට පාත්‍ර වීම නෙවෙයි මගේ අවසන් ඉලක්කය වෙන්නේ. මට ඕන වෙනසක් කරන්නයි. මේක අවුරුදු ගාණක් මම කළ කාර්යයට ලැබුණු විශාල වටිනාකමක් වගේ ම අගය කිරීමක්. මට මේක මගේ අනාගත කාර්යයන්ට කෙසේ බලපායි ද කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ, මම තාමත් දීර්ඝ ගමනක ආරම්භයේ ඉන්නේ. මට තව ගොඩක් දුර යන්න තියෙනවා.

Image copyright
ASHA DE VOS/STEVE DE NEEF

ප්‍රශ්නය: ඔබේ අනාගත බලාපොරොත්තු මොනවා ද?

පිළිතුර: සංවර්ධනය වෙමින් පවතින රටවල සෑම වෙරළ තීරයක ම නිල් තල්මසුන් පෝෂණය කිරීම මගින් සමුද්‍රීය සංරක්ෂණයට සාධාරණයක් කිරීම මගේ අරමුණයි. මගේ ජීවිත අත්දැකීම් හරහා ඒ සඳහා අවස්ථා සලසමින්, උපදෙස් දෙමින් ඒ වගේ ම ජනතාව තුළ උනන්දුවක් ඇති කරමින් එය කිරීමට අපේක්ෂා කරනවා. මට අවශ්‍යයි ලෝකයේ පැතිරිලා තියෙන දක්ෂතා ලෝකයට හඳුන්වා දෙන්න. ඒ හරහා සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් මීට වඩා වෙනසක් කරන්න මට අවශ්‍යයි.

ප්‍රශ්නය: ශ්‍රී ලාංකික කාන්තාවක ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන කාන්තාවන්ට දිය හැකි උපදේශය කුමක් ද?

පිළිතුර: ලෝකයේ කොතන හිටියත් ඔබ පිරිමින්ට වඩා වෙහෙස වී වැඩ කළ යුතුයි. කනගාටුදායක ඇත්ත යථාර්ථය ඒකයි. හැබැයි, ඔබ මහන්සි වී වැඩ කරන විට යම් තැනකදී ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ පසුබිම නොසලකා ඔබේ දක්ෂතාව සහ වටිනාකම දකින අවස්ථාවක් එළඹෙනවා. එවිට ඔවුන්ට විසඳගන්න තියෙන ඕනෑ ම ගැටලුවකදී ඔබගේ අවශ්‍යතාව ඔවුන් පිළිගන්නවා. ඒ වගේ ම ඔබට සහය දක්වන ශක්තිමත් පිරිසක් සොයාගෙන ඔවුන්ට සමීප වෙන්න. ඔබට ඕන තරම් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. ඒත් සුදුසු පුද්ගලයින් ඔබ වටා සිටින විට ඒවා ජය ගත හැකියි.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවට අයත් සාගරය ප්‍රයෝජනවත් ලෙස හා ප්‍රවේශමෙන් භාවිත කරනවා ද?

Image copyright
ASHA DE VOS/FACEBOOK

පිළිතුර: අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවේ සාගරය ප්‍රවේශමෙන් තොරව පරිහරණය කරන බව ලෝකයේ ම ව්‍යාප්ත වෙමින් පවතින මතයක්. මුහුදු ජලයට ප්ලාස්ටික් එකතු වීම, පාලනයකින් තොරව කෙරෙන සංචාරක කර්මාන්තය නිසා තලමසුන්ට හානි වීම, නෞකාවල ගැටීමෙන් තල්මසුන් හානි සිදු වීම, ඩයිනමයිට් භාවිතය ආදී විවිධ ක්‍රියා නිසා කොරල් පර විනාශ වීම වගේ දේවල් නිසා සාගරය දූෂණය වෙමින් තියෙනවා. ඒ ක්‍රියාකාරකම්වල නිමක් නැහැ.

ශ්‍රී ලංකාව සාගර සංරක්ෂණය ගැන අවධානයක් දීලා නැහැ. ඒත්, අවුරුදු කීපයක ඉඳන් සාගර සංරක්ෂණ ව්‍යාපාරය හරහා ගෙන යන වැඩපිළිවෙළ නිසා ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු වෙයි කියන අපේක්ෂාව මට තියෙනවා.

ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ සාගරය සංරක්ෂණය කිරීමට කළ යුත්තේ කුමක් ද?

Image copyright
ASHA DE VOS/FACEBOOK

Image caption

තල්මසුන් නැරඹීම

පිළිතුර: ගොඩක් දේවල් කරන්න තියෙනවා. කෙටියෙන් කියනවා නම් ශ්‍රී ලංකාව කෙටි කාලීන ආර්ථික ප්‍රතිලාභ ගැන වැඩි අවධානයක් යොමු නොකර රටට අවශ්‍ය දීර්ඝ කාලීන ආර්ථික වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුයි. ඒ වගේ ම රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න ශ්‍රී ලංකාවට දැක්මක් තියෙන්න ඕන.

අපි ස්වාභාවික සම්පත් රැසකින් පෝෂණය වුණ ජාතියක්. ඒත් අපි හිතන්න හොඳ නෑ ඒවා සදාකාලිකව පවතිනවා කියලා. අපි ආත්මාර්ථකාමී නොවී අපේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඒවා සංරක්ෂණය කළ යුතුයි.

තවත් කියවන්න:

  • ලොව බලපෑම් කළ හැකි කතුන් අතරට ගිය එක ම ශ්‍රී ලාංකික කත
  • නිල් තල්මසුන් වෙනුවෙන් කැපවුන ලාංකික විද්‍යාඥවරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here