ආචර් ඔස්ට්‍රේලියානු ඉනිම වනසයි | දිනමිණ

0
51


ලීඩ්ස් හිදී ආරම්භ වූ අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් සංචාරක ඔස්ට්‍රේලියානු පිල ලකුණු 179කට සීමාකිරීමට එංගලන්තය සමත් විය.

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය දෙවැනි තරගයට එක්වූ ජොෆ්රා ආචර් ඔස්ට්‍රේලියානු ඉනිම සුනුවිසුනු කරමින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.

විටන් විට තරගය වාර්ෂාවෙන් බාධාවීම නිසා තරගයේ පළමු දිනයේ ක්‍රියාත්මක කළ හැකිවූයේ ඕවර 52.1ක් පමණි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ මුල් කඩුලු 2ක ලකුණු 25ක් තුළ බිඳ වැටීමෙන් අනතුරුව ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමග එක්වූ මාර්නස් ලැබුස්චේන් තෙවැනි කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් ගොඩනගමින් මුළු ලකුණු සංඛ්‍යාව 136 දක්වා ඉදිරියට ගෙන ගියේය. 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස වාර්තා කරමින් ලකුණු 61ක් ලබා සිටි වෝනර් දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටිණි. හතරේ පහර 7ක් එල්ල කළ වෝනර් පන්දු 94කට මුහුණදී තිබිණි. ස්ටීව් ස්මිත් ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමට එක්වූ මාර්නස්, ස්මිත්ගේ අඩුව පුරවමින් ඉනිමේ වැඩිම ලකුණලාභියා බවට පත්විය. පන්දු 129කට මුහුණදුන් ඔහු හතරේ පහර 10ක් සමගින් ලකුණු 74ක් රැස් කළේය. සිය ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය රැස්කළ මාර්නස් ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 177ක් විය. ටිම් පේන් ලකුණු 11ක් රැස්කළ අතර ආචර් ප්‍රමුඛ එංගලන්ත පන්දු බළ ඇණිය හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාවට පිවිසීමට නොහැකිවිණි. ඕවර 17.1ක් යැවූ ආචර් ලකුණු 45ක් ලබා දෙමින් කඩුලු 6ක් දවාගත් අතර ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 2ක් බිඳ දැම්මේය.

ඔස්ට්‍රේලියා පළමු ඉනිම – 179 (ඕවර 52.1) මාර්නස් ලැබුස්චේන් 74, ඩේවිඩ් වෝනර් 61 (ජොෆ්රා ආචර් 45/6, ස්ටුවර්ට් බ්‍රෝඩ් 32/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here