අවසන් පූර්ව තරගයේ පරාජයෙන් කෝලි වැලපෙයි

0
6


නවසීලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් අත්විඳිමින් ඉන්දීය පිල අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්විය. තරගමාලාව ආරම්භයේ සිටම අපරාජිතව පසුවූ ඉන්දියාව සහ නවසීලන්තය අතර පෙරේදා මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවැති මේ තරගය ලොව පුරා ක්‍රිකට්ලෝලීන්ට සෑහෙන කළෙකට අමතක නොවන්නකි. වර්ෂාව නිසා දින දෙකක් පුරාවට ඇදී ගිය මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු 239 හඹා ගිය ඉන්දියාව අවසානයේ ඕවර 49.3කදි ලකුණු 221කට දැවී ගියේ ලකුණු 18ක පරාජයක් අත්විඳිමිනි.

‘පළමු මිනිත්තු 40දී තරගය වෙනස්වුණා.’ නවසීලන්තය හමුවේ පරාජය වීමෙන් පසුව විරාත් කෝලි එසේ කීවේ දැඩි වේදනාවකින් යුතුවය.

ශතක පිට ශතක ලබා ලෝක කුසලාන තරග ඉතිහාසය වෙනස් කළ ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා, ලෝකේෂ් රාහුල් සහ නායක විරාත් කෝලි මුලු ලකුණු සංඛ්‍යාව 5 වෙද්දී එක පිට දැවී ගියහ.

‘දැනුණු පීඩනය අතිවිශාලයි. ලකුණු 5කට කඩුලු 3ක් වැටුණා කියන්නේ ආපහු නැගීටින්න අමාරු වැඩක්. අපි තරගමාලාව පුරාම පුදුමාකාර විදිහට දස්කම් දැක්වුවා. ඒකයි අපිට කනගාටු’ කෝලි එසේ පැවැසීය.

නවසීලන්තය ලබාදුන් ලකුණු 240 ඉලක්කය විශිෂ්ට පිතිහරඹ පෙළගැස්මක් ඇති ඉන්දියාවට ඉතා පහසු එකක් සේ පෙනුණත් තරගයේ වාසිය නවසීලන්තයට හරවා තැබුවේ ආරම්භක පන්දු යවන්නන් වන ට්‍රෙන්ට් බෝල්ට් සහ මැතිව් හෙන්රිය. මුළු ලකුණු සංඛ්‍යාව 24ක් වෙද්දී දිනේෂ් කාර්තික් දවාලමින් හෙන්රි ඉන්දීය පිතිකරුවන් සෙල්ලමකට ගත්තේය.

‘ඔවුන් ඇත්තටම නව පන්දුවෙන් පුදුමාකාර විදියට දස්කම් පෑවා. ඔවුන් අපිට වැරැදි කරන තැනට පත් කෙරෙව්වා. ලොකු පීඩනයක් ඇති කළා. ඇත්තටම මං හිතන්නේ පළමු ඕවර 7ක් හෝ 8ක් ඇතුළත අපේ පිතිකරුවන්ට පහරක් එල්ල කරන්නට පන්දුවක් ආවේම නෑ. බලන්න කොයිතරම් හොඳින් එයාලා පන්දුව පාලනය කළාද කියලා.’

‘ඒත් තරගමාලාව පුරාම දැඩි කැපවීමෙන් හා උපරිම දස්කම්වලින් තරග දිනලා අන්තිමට අවසන් පූර්ව තරගයේදී මෙහෙම පැරදුණාම හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්. අපි මූලික වටය ඉවර කළේ අංක එකේ කණ්ඩායම බවට පත්වෙලයි.’

ලකුණු 92කට කඩුලු 6ක්ම බිඳ වැටුණු මොහොතේ මහේන්ද්‍ර සිං දෝනි සමග එක්වූ රවීන්ද්‍ර ජඩේජා 7 වැනි කඩුල්ලට ලකුණු 116ක අනගි සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර කවුරුත් සිතුවේ දැන් දැන් නවසීලන්තය පරාජය වනු ඇති බවකි. එහෙත් මැට් හෙන්රි යැවූ ඉනිමේ 48 වැනි ඕවරය තුළ දෙදෙනාම දැවීයාමෙන් පසුව තරගයේ වාසිය නැවත නවසීලන්තය දෙසට හැරිණි.

‘ජඩේජා ඉතා හොඳින් ක්‍රීඩා කළා. එම්.එස්. (දෝනි) සමග එක්වී තරගයේ බලාපොරොත්තු වැඩි කළා. ඒත් දෙන්නම දැවීයාමෙන් පසුව සියල්ල නිමාවට පත්වුණා.’ ඔහු කීවේය.

‘දැන් කරන්න දෙයක් නෑ. අපිට මේ පරාජය පිළිගන්න සිද්ධ වෙනවා. මේ වගේ දේවල් අපිට කළිනුත් වෙලා තියෙනවා. ඒත් ඒ හැම වතාවකදීම අපි ආපහු නැගිට්ටා. මේ පාරත් එහෙම වේවි.’ කෝලි එසේ කියන්නේ බලාපොරොත්තු සහගතවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here