අරුණි බැන්ඳට, ඉෂානි දැන්ම බඳින්නේ නැතිද

0
111


ජය මංගල ගී ආසිරි සුබ පැතුමන් අතරින් ඇය ඔහුගේ අතගෙන මංගල ගමන් යනයුරු ඔබ බලාසිටියේ සතුටු කඳුළු වගුරුවමින් දෙවෙනි ඉනිමේ අරුණි හා ධනුකගේ මංගල මොහොත බොහෝ දෙනෙකුගේ සිත් පැහැරගත්තේ තමන්ගේම කෙනෙකුගේ මංගල මොහොතක් ලෙසිනුයි. මේ මංගල මොහොතේ සුන්දරම මනාලිය ඉෂානි අද අපි ආදර හැන්දෑවට කැඳවා ගත්තා.

ආදරය සුන්දරයිද ඉෂානි?

ආදරය ගැන මට තියෙන පළමු හැඟුම මටම වචන වලට නගන්න බැරි එකක්. මට මගේ තාත්තගේ ආදරය අහිමි වෙන්නෙ මම පුංචිම පුචි දැරියක්ව හිටියදියි. එදා ඉඳන් මම තවමත් තාත්තාගේ ඒ ආදරය හොයනවා.

තාත්තාගෙ ආදරය ගැන මතකය පාමුලට කඳුළක් එකතුවුණේ කොහොමද?

මගේ තාත්තා හමුදා නිලධාරියෙක්. තාත්තා රට වෙනුවෙන් ජීවිතය පූජා කරද්දි මට වයස අවුරුදු දෙකහමාරයි. තාත්තා ගැන මතකය මට සිහිනයක් වගෙයි. තාත්තා අපිව හැරගියේ වීරයෙක් වගේ අපේ රට වෙනුවන් සේවය කරන්න ගිහින්. ඒ ගැන හිතද්දි තාත්ති ගැන ආඩම්බරයක් දැනෙනව. තාත්තා නැතිවුණ දවසේ ඉඳන් තාත්තාගෙන් ලැබිය යුතු ආදරයත් මට ලබාදෙමින් අම්මා මගේ ළඟ හෙවනැල්ලක් වගේ හිටියා. ඒත් මට මතක ඇති කාලෙ ඉඳන් මේ දක්වාම මගේ හිතින් තාත්තාගෙ ආදරය හොයනව. අදටත් තාත්තා හිටියනම් කියන සිතුවිල්ල මගේ හිතේ තියෙනව. තාත්තා ජීවතුන් අතර හිටිය නම් අද මට මේ ක්‍ෂේත‍්‍රයට එන්න දෙන එකකුත් නැහැ කියලත් හිතෙනව.

ඉෂානි පෙම් කරන්න පටන් ගන්නෙ?

මම උසස් පෙළ විභාගය ලියල ඉවර වෙනකම්ම මගේ අම්මා මගේ පසුපසින් හිටියා. ඉස්කෝලෙට, ටියුෂන් පන්තියට මාව ඇරලවල, ඉවරවෙනකම් අම්මා ඉස්කෝලෙ ළඟයි, පන්තිය ළඟයි ඉඳල මාව ගෙදර එක්ක එනව. තරුණ වයසෙදි කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන එක, එයා හොඳයි කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක්නෙ. ඒ වගේ පොඩි පොඩි දේවල් තිබිලා තියෙනවා. හැබැයි ඒ කැමැත්ත ආදර සබඳතා බවට පත්කරගෙන දුර දිග ගෙනියන්න කොහොමටවත් ඉඩක් තිබුණේම නැහැ. ඒ වගේ දේකට පුංචිම පුංචි ඉඩක්වත් නොතබා අම්මි මාව ආරක්ෂා කළා. අම්මි මගේ පසුපසින්ම හිටියා. මාව තනියෙන් කොහේවත් යවන්නෙ නැහැ. දැනට වුණත් එහෙමමයි.

ඒ තරම් රැකවරණයක් ජීවිතයට වදයක් වුණ තැන් නැතිද?

වෙලාවකට ඒක වදයක් වගේ දැනුනට දැන් තේරෙනව අම්මා එහෙම මගේ පසුපසින් හිටිය එක හොඳයි කියලා. මොකද තාත්තත් නැතිව මට හරිහමන් ආරක්ෂාවක් නොලැබුණා නම් මම කොහොම හැදෙයිද කියලා හිතෙනව.

දැන් ඉෂානි කාගේ හෝ පෙම්වතියක්ද?

දැනට නම් මට පේ‍්‍රම සම්බන්ධයක් නැහැ. මට, මම කෙනෙක් හොයාගන්නව නම් හොයාගන්න අම්ම මට නිදහස දීලා තියෙනව. මම කෙනෙක් හොයාගන්නව නම් එයා මට නැතිවුණ තාත්තගෙ ආදරය වගේ ආදරයක් දෙන, මාව හොඳට බලාගන්න පුළුවන්, මටම විතරක් ආදරය කරන කෙනෙක් තමයි ප‍්‍රාර්ථනා කරන්නෙ. ඒත් ඉතින් කෙනෙක් විශ්වාස කරන්න අමාරුයිනෙ. දැන් සිද්ධවෙන දේවල් එක්ක.

ඔබට කැමති වුණ අය රසිකයන් අතර වගේම ක්ෂෙත‍්‍රයේදිත් හමුවුණේම නැතිද?

ඔව්. මට කැමත්තෙන් ඉන්නව කියලා හිතෙන අය හමුවෙලා තියෙනව. ඒත් මම කැමති නැහැ කාගෙවත් හිත රිදවන්න. සමහරු එක්ක මනුස්සකමට කතාකරන්න ගිහින් වැරදි වැටහීම් ඇතිකරගත්ත අවස්ථා තියෙනව. ඒ නිසා කව්රු එක්කත් කතාබහ කරලා සුහදව ඉන්නව.

ඉෂානි ආදරය වෙනුවෙන් රංගනය කැපකරන්න සුදානම්ද?

කවද හරි මම විවාහ වෙන කෙනා එක්කනෙ ජීවත් වෙන්නෙ. එයා මාව තේරුම් අරගෙන දිගටම රඟපාන්න කැමැත්ත දුන්නොත් තමයි. එයාගේ අකමැත්තෙන් මම දෙයක් කරන්නෙ නැහැ කොහොමත්.

දෙවෙනි ඉනිමේ මනාලියක වූ මොහොත ඔබට දැනුනෙ කොහොමද?

ඇත්තටම මනමාලියක් වුණා වගේ තමයි. එදා සිදුවුණ අමතකම නොවෙන සිදුවීම තමයි මම මනමාළියක් විදිහට සැරසිලා අම්මයි තාත්තයි දෙපැත්තෙන් තියාගෙන ශාලාවට එන අවස්ථාවේ මගේ අම්මත් ඒ ශාලාවේ හිටියා. එයා ඈතින් ඉඳගෙන හොඳටම ඇඬුවා. ඒ වෙලාවේ මම මගේ හැඬුම නවත්ව ගත්තෙ හරිම අමාරුවෙන්. එතන හිටිය අපේ නිෂ්පාදන කණ්ඩායමේ හැමෝම කිව්වෙ අම්මා මාව කාටවත් දෙන්නෙ නැතිවෙයි, ඒ තරම් අම්මා මට ආදරෙයි කියල.

දෙවෙනි ඉනිමේ ඔබේ මනාලය වන දේව්ගෙන් හැබෑ දිවියෙත් ආදර ඇරයුමක් ලැබුණොත් බාරගන්නවද?

අනේ එයාගෙ හිතේ එහෙම අදහසක් නැහැ. එයා මට මගේම අයියා වගෙයි.

ඉෂානිත් කවද හරි අම්ම වගේම දිරිමත් බිරිඳක් වෙයි කියලා හිත කියනවද?

එකක් දන්නව, අම්මගේ තරම් මගේ හිත හයිය නැහැ. මම එයා තරම් ශක්තිමත්ව ජීවත් වෙන්නෙ නැතිවෙයි. කවද හරි විවාහ වෙන කෙනා එක්ක හරිම ආදරයෙන් ජීවත් වෙන්න ආසයි.

ධම්මිකා සුරංජි පතිරණ
Source – දිවයින



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here